Featured Post

Ascii Code

මෙහි A අකුර සදහා දහයේ පාදයේ අගය 65 ද a සදහා දහයේ පාදයේ අගය 97 දවේ අනෙක් අක්ෂර අනුපිළිවෙලකට කියවයි.

තොරතුරු පද්ධති. (Information System) 1

තොරතුරු පද්ධතියක් යනු කුමක්ද?


  • තොරතුරු පද්ධතියක් යනු කුමක්ද යන්න සලකා බලීමට පෙරාතුව අපි පද්ධතියක් යනු කුමක්ද යන්න වටහා ගනිමු.  පද්ධතියක් යනු ඒකායන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සදහා අන්තර් ක්‍රියාකරීත්වයෙන් යුක්තව  සාමුහිකව ක්‍රියා කරන්නාවූ සම්පත් සමුහයකි. මෙම අර්ථදැක්වීම වඩාත් පැහැදිලි කර ගැනීමට අප ඉතා සරල උදාහරණයක් සලකා බලමු. අප කවුරුත් දන්නා මිනිසාගේ ආහාර ජීර්ණ ඉන්ද්‍රිය පද්ධතිය වෙත අප මදක් අවධානය යොමු කරමු. රුපසටහන් අංක 1 දක්වා ඇති පරිදි මානව ආහාර ජීර්ණ පද්ධතිය විවිධ කොටස් වලින් සමන්විත වේ. එහි ප්‍රධාන අරමුණ වන්නේ මුකයෙන් ඇතුළු කරන ආහාර ද්‍රව්‍ය නිසි පරිදි ජීර්ණය කොට ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පධාර්ත අවශෝසනය කොට ඉතිරි ජීර්ණය වුනු ආහාර කොටස් ශරීරයෙන් බැහැර කෙරීමයි. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සදහා විවිධ වූ ඉන්ද්‍රිය කොටස් මනාව සංවිධානය වී නිසි ක්‍රියාකාරීත්වයෙන් නිබදව යෙදී සිටි. එසේම සාම ඉන්ද්‍රියක්ම ආහාර ජීර්ණ ක්‍රියාවලියට සම්බන්ද කිසියම් වූ කෘත්යක් අනෙකුත් ඉන්ද්‍රියන් හා අන්තර්ක්‍රියා කරමින් ඉටු කරන අතර මෙකී එක් ඉන්ද්‍රියක අක්‍රිය භාවය සමස්ත අහාර ජීර්ණ ක්‍රියාවලියටම බලපානු ඇත. 



රූපසටහන 1


රූපසටහන 2
එසේම මෙම මානව අහාර ජීර්ණ පද්ධතිය ගැන සැලකීමේදී ඔබට පැහැදිලිවම එයට අයත් ඉන්ද්‍රිය අනෙකුත් ඉන්ද්‍රියන්ගෙන් වෙන් කොට හදුනා ගත හැක. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් පෙනහළු, නාසය වැනි ඉන්ද්‍රියන් මානව ආහාර ජීර්ණ පද්ධතියට අන්තර්ගත නොවී වෙනම පිහිටා ඇත. මින් අදහස් කරනුයේ කිසියම් වූ පද්ධතියකට ඊට අයත් අභ්‍යන්තර කොටස් භාහිර කොටස් වලින් වෙන් කර තබා ගැනීම සදහා සීමාවන් (Boundary) ඇති බවයි.  මේ අනුව කිසියම් වූ පද්ධතියක් එහි අභ්‍යන්තරය භාහිරින් වෙන් කොට තබා ගැනීමේ පද්ධති සීමාවක් රූපසටහ 2  පෙන්වා ඇති පරිදි හදුනා ගත හැකි වේ.

දැන් ඔබට පද්ධතියක් යනු කුමක්දි පැහැදිලිව අවබෝධ වේ යයි සිතමි. ක්‍රියාකාරකමක් ලෙස තවත් මෙවැනි පද්ධති හදුනා ගෙන එහි අරමුණු, එහි ඇති කොටස්, එම උප කොටස් වල වගකීම හා අන්තර් ක්‍රියා සහ පද්ධති සීමා හදුනා ගන්න උත්සහ කරන්න (Telecommunication System, Computer System, Respiratory System, Pond).

 දැන්  අප  තොරතුරු  පද්ධතියක්  යනු  කුමක්දැයි හදුනා  ගැනීමට  උත්සහ කරමු.

තොරතුරු පද්ධතියක් යනු මිනිසුන්, ක්‍රියාකාරකම් හා තාක්ෂනය යන සංරචක වල අනෙයෝනය
බැදීමකි. මෙමගින් තොරතුරු එක්රැස් කිරීම හෝ නැවත ලබා ගැනීම, සැකසීම, ගබඩා කිරීම හා බෙදා හැරීම යන කාර්යයන් සිදුකර මිනිසාගේ එදිනෙදා සිදුවන සියලු කටයුතු සිදුකර ගැනීම සදහා දායක වේ. තොරතුරු පද්ධතියක් අපට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්  පරිගණක පාදක වූ තොරතුරු පද්ධති (ටේලර් යන්තර) ) සහ පරිගණක තාක්ෂනය පාදක නොවන තොරතුරු පද්ධති (ජීවී හා භෞතික පද්ධති) ලෙසයි.  තොරතුරු පද්ධතීන් ගැන තව දුරටත් අවබෝධ කර ගැනීමට උදාහරනයක් ලෙස අපි ටේලර් යන්ත්‍රයක් පිලිබදව සලකා බලමු. ටේලර් යන්ත්‍රය හා බැදුණු මිනිසුන් ලෙස බැංකු පාරිභෝගිකයන්, බැංකු නිලධාරීන් හා පද්ධති ඉංජිනේරුවරුන් දක්වියහැකිය. බැංකු පාරිභෝගියන් මුදල් ගනුදෙනු සදහාත්, බැංකු නිලධාරීන් ගිණුම් කටයුතු සදහාත් පද්ධති ඉංජිනේරුවරුන් ටෙලෙර් යන්ත්‍රය පරිපාලන කටයුතු සදහාත් එය හා බැදී සිටියි. ටේලර් යන්ත්‍රය පරිගණක තාක්ෂනය ඔස්සේ ක්‍රියාත්මක වන අතර එය අනෙකුත් බැංකු ජාල සමග සන්නිවේදන තාක්ෂනය ඔස්සේ බැදී පවතී. මේ අනුව ටේලර් යන්ත්‍රය මිනිසුන්, ක්‍රියාකාරකම් හා තාක්ෂණික සංරචක වල එකතුවක් බව අපට ඒත්තු ගන්වයි. මෙසේ තවත් බොහෝ තොරතුරු පද්ධති ලොව පවතී. ඉන් බොහොමයක් පද්ධති මිනිසාගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා මිනිසා විසින් නිර්මාණය කර ඇත.

පද්ධති ප්‍රවර්ධන ජීවන චක්‍රය (System Development Life Cycle)


ඔබට හුරුපුරුදු අත්දැකීමක්

ඔබට මෙම පාඩමේ අඩංගු කරුණු පැහැදිලිව අවබෝධ කරගැනීම පහසු කිරීමට මා සිතුවා ඔබට හුරු පුරුදු එදිනෙදා ජීවිතයේදී ඔබ මුහුණ දෙන අත්දැකීමක් ඉතා  සවිස්තරව කොටස් වශයෙන්  ඉදිරිපත් කරන්නට. එය පාඩමට අවශ්යද වන පසුබිම එලි දැක්වීමට මට ඉවහල් වෙයි කියා මා සිතනවා. මේ කතාව සමන් මහතාගේ අලුත් නිවාසය ගැනයි. සමන් මහතා එයාගේ නිවාස ගොඩනගද්දී හිතපු දේවල්, කරපු දේවල් පොදුවේ අලුතෙන් නිවාස තනන ඕනෑම කෙනෙක් කරනවා. පාඩමේ තැනින් තැන සමන් මහතාගේ අත්දැකීම් මම විස්තර කරනවා. එය පාඩමේ කතා කරන තාක්ෂණික සිද්ධාන්ත පහසුවෙන් වටහා ගැනීමට ඔබට උපකාර වෙයි කියා මා හිතනවා.

සමන් මහතාට නිවසක් සැදීමට අවශ්‍යතාවක් ඇතිවීම 
සමන් මහතා බැංකුවක විධායක නිලධාරියෙක්. ඔහු කලක් තිස්සේ දැකපු හීනයක් දැන් යතාර්ථයක් කරගන්නයි හදන්නේ. ඒ එයාගෙම කියල නිවසක් හදා ගැනීම. සමන් මහතා ඒ ගැන කතා කිරීමට මුලින්ම හමු උනේ එයාගේ ගමේ හිටපු සිරිපාල බාස් උන්නැහේ. සමන් මහතා සිරිපාල සමග කතා කොට ඔහුගේ අවශ්‍යතාව කිව්වාම සිරිපාල වැඩේට එකග වී තවදුරටත් විස්තර විමසුවා. මෙහිදී සමන් මහතා සිරිපාලගෙන් ඔහු නිවස සාදන්න්නේ කුමන ක්‍රමවේදයකටද කියා අසූ විට සිරිපාල කිව්වේ "මහත්තයා මම තක්සේරුව දෙන්නම්, ඊට පස්සේ මහත්තයා එකග නම් අවශ්‍ය භාණ්ඩ මට අරන් දෙන්න මම පියවරෙන් පියවර ගෙදර හදන්නම්" සමන් මහතා එවිට ගෙවීම් කටයුතු කරන්නේ කෙසේද අසූ විට සිරිපාල පහසු වාරික 3 කට දෙන ලෙස පැවසීය. සිරිපාලගේ ක්‍රමයට සමන් මහතා එපමණ කැමැත්තක් නොදැක්වූ අතර එයට හේතු වුයේ පැහැදිලි ගොඩනැංවීමේ ක්‍රම වේදයක් සිරිපාල ලග නොමැති බව ඔහුට අවබෝධ වීම නිසයි.  
පසුව සමන් මහතා ඔහුගේ යාලුවෙකුගේ මාර්ගයෙන් තවත් බාස් උන්නැහේ කෙනෙක් හමු උනා උපුල් කියලා. උපුල් ලග කණ්ඩායමක් එකට වැඩ කළා. සමන් මහතා සුපුරුදු ලෙසම උපුල්ගෙන්ද ඇසුවේ ඔහුගේ නිවාස සාදන ක්‍රමවේදය කුමක්ද යන්නයි. උපුල් පැවසුවේ ඔහු අදියර වශයෙන් නිවාස තනන බවත්, ඒවා අත්තිවාරම දැමීම, බිත්ති ඉධිකිරීම, වහලය, ගෙයි ඇතුල් වැඩ, නිමාව ආදී පියවර වලින් යුක්ත වන බවයි. ගෙවීම් කටයුතු ඒ ඒ පියවර අවසානයේ කරන ලෙස උපුල් පවසූ අතර කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කරන බව දැන්වීය. මෙයින් පසු සමන් මහතා උපුල් හා එක්ව නිවස ගොඩ නැගීමට කැමති විය. එයට ප්‍රධාන හේතුව වුයේ උපුල් තුල පිළිගත හැකි පැහැදිලි ක්‍රමවේදයක් තිබීමයි. 
එකවිටම සමන් මහතාගේ උපුල් සමග නිවාස ඉධිකෙරීමේ එකගතාව වෙනස් වුයේ පුවත්පතක පල වූ දැන්වීමක් දැකීමෙනි. එම දැන්වීමේ නිවාස සැදීමට කොන්තරාත්තු භාරගන්න ආයතනයක් ගැන සදහන් වූ අතර විශ්වාසවන්ත ලෙස කල්පවතින වගකීමක් සහිත නිවාස ඉධිකරන බව දන්වා තිබුණි. සමන් මහතා එම ආයතනයේ ප්‍රධානියා හමුවීමට ගියේය. එහිදී ඇති වුනු කතිකාවෙන් සමන් මහතා නිවාස සැදීමට වඩාත් සුදුසු යයි සිතා තෝරා ගන්න ලද්දේ එම පුවත්පත් දෙන්වීමේ තිබු සමනල හොමේ බිල්දින්ග් (Samanala Home Building)  ආයතනයි. මෙයට හේතු වුයේ වෘතීය නිපුන වූ ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ නිවස හිමි කරුවාගේද මැදිහත්වීම සහිතව ඔහුගේ වෙනස් කෙරීම්වලට බදුන්ව පියවර හයකින් කොන්තරාත් ක්‍රමයට සියලුම දේ එකතු කර ගනිමින් නිවාස නිම කිරීමයි.  නිවාස ඉධිකෙරීම් පියවර ලෙස, ඉධිකෙරීම් ඉකගතා ගිවිසුම් අත්සන් තැබීම, අත්තිවාරම දැමීම, බිත්ති ඉධිකෙරීම, වහලය, ගෙයි ඇතුල් වැඩ, නිමාව ඇතුලත් වූ අතර නිමාවෙන් පසු වසරක වගකීම සහ පසු සංවර්ධන සේවා සැපයීම සමන් මහතාගේ ආකර්ෂණය වැඩි වීමට හේතු විය.    
දැන් අපි නැවතත් මේ කතාවත් පාදක කරගනිමින් සිද්ධාන්ත සාකච්චා කිරීමට යමු.

සමන් මහතාගේ නිවාස පිළිබද කතාවේ ඔහු අවධානය යොමු කල ප්‍රධාන කරුණ වන්නේ නිවැරදි ක්‍රමවේදයක් සහිත ගොඩනැගිලි ඉධිකරන්නෙකු සොයා ගැනීමයි. එහිදී ඔහු සමනල බිල්දෙර්ස් ආයතනය වෙත යොමු වන්නේ එම ආයතනය ඉදිරිපත් කරනු ලබන ක්‍රමානුකූල ගොඩනැංවීමේ ක්‍රමවේදය නිසයි. නැවත වතාවක් අපි සමනල බිල්දෙර්ස් ආයතනය ඉදිරිපත් කර ඇති නිවාස ගොඩනැංවීමේ ක්‍රමවේදය වෙත හැරෙමු. එහි අඩංගු කර ඇති පියවර පහත රූපසටහන් අංක 3 දක්වා ඇති පරිදි චක්‍රීයව ඉදිරිපත් කල හැකියි. 

  රූපසටහන 3
රූපසටහනේ (රූපසටහන 3) දැක්වෙන පරිදි නිවාස ඉධි කිරීම සදහා සමනල බිල්දෙර්ස් ආයතනය භාවිතා කරන ක්‍රමවේදය ඉතා පැහැදිලි අතර මෙහිදී සමන් මහතාට ඉතා පහසුවෙන් ඉධිකිරීම් අදියර පිරික්සා  බැලිය හැකි වෙයි. තවද තවත් මෙවැනිම නිවාස ව්‍යාපෘතියක් ඉතා පහසුවෙන් සමනල බිල්දෙර්ස් ආයතනයට සිදුකර ගැනීමට මෙම චක්‍රීය ක්‍රමවේදය ඉඩ හසර ලබා දෙයි.
රූපසටහන් අංක 3 දැක්වෙන ලෙස මෙම චක්‍රීය ක්‍රියාවලියේදී සමස්ත නිවාස ඉධි කිරීමේ ක්‍රියා පටිපාටියේ ප්‍රධාන පියවරයන් අපට පැහැදිලිව හදුනා ගත හැකිය. එනම් එකගතා ගිවිසුම් අත්සන් තැබීම, ඉධි කිරීම, නිමාව හා පසු සංවර්ධන සේවා සැපයීමයි. ඒ අනුව සමනල බිල්දෙර්ස් ආයතනය අනුගමනය කරන නිවාස ඉධි කිරීමේ යාන්ත්‍රණයේ මූලික අවධි හතරකින් සමන්විත වන බවත්,ඒවා චක්‍රීයව සම්බන්ධිත බවත්, එක අදියරකින් පසු අනෙක් අධියරට ලගාවිය හැකි බවත් මෙම ප්‍රායෝගික උදාහරණය මගින් අපිට පැහැදිලිවේ.
 
දැන් අපි තොරතුරු පද්ධතියක් සංවර්ධනය කෙරීම ගැන සලකා බලමු. තොරතුරු පද්ධතියක් සංවර්ධන ක්‍රියාවද විවිධ ප්‍රවර්ධන අවධි වලින් යුක්ත අතර එයද චක්‍රීයව පුනරාවර්තනය වෙයි. පද්ධති සංවර්ධනයේ වූ මෙම චක්‍රීය ප්‍රවර්ධන ක්‍රියා පිළිවෙත "පද්ධති ප්‍රවර්ධන ජීවන චක්‍රය (System Development Life Cycle)" ලෙස හදුන්වන අතර දැන් අපි මෙම පද්ධති ප්‍රවර්ධන ජීවන චක්‍රය ගැන මදක් කරුණු විමසා බලමු.

පද්ධති ප්‍රවර්ධන ජීවන චක්‍රය (System Development Life Cycle)

බාහිර හා අභ්‍යන්තර මුලාශ්‍ර වලින් ලබා ගන්නා දත්ත නිශ්චිත තීරණයක් ගැනීමට උචිත තොරතුරක් බවට පත් කිරීම තොරතුරු පද්ධතියක දක්නට ලැබෙන පොදු ලාක්ෂණික ගුණාංගයයි. මෙහිදී තොරතුරු පද්ධතිය සදහා යොදනු ලබන දත්ත වල කිසිදු අරුතක් නැති අතර ඉන් නිපැයෙන තොරතුරු සදහා අරුතක් ඇත. කිසියම් වූ තොරතුරු පද්ධතියක් භාවිතයෙන් කාර්යක්ෂම ලෙස කිසියම් වූ පොදු ගැටළුවක් සදහා අවශ්‍ය තොරතුරක් සැනෙකින් ලබා ගත හැකිය. එබැවින් තොරතුරු පද්ධති වල අවශ්‍යතාව හා ඒවායේ භාවිතය වර්තමානයේ කුමන හෝ කර්මාන්තයකට, රාජ්‍ය සංවිධාන වලට හෝ පෞද්ගලික එදිනෙදා කටයුතු වලට දැඩිව දැනේ. තොරතුරු පද්ධතියක් ගොඩනැවීමද ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සදහා කිසියම් වූ කාලයක්, මිනිස් ශ්‍රමයක්, මුදලක් හා සම්පත් වැය වනු ඇත. එසේම මෙසේ අධික පිරිවැයක් යොදා නිමවන තොරතුරු පද්ධති වලද එහි නිමැවුම පිළිබද කිසියම් වූ අවිනිශ්චිතතාවයක් පවතී.

ඉහත සදහන් කල පරිදි තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලියද විවිධ වූ අවධින්ගෙන් වලින් සමන්විත වෙයි. එනම්;

  1. පද්ධති හදුනාගැනීම (System Investigation)
  2. පද්ධති විශ්ලේෂණය (System Analysis)
  3. පද්ධති සැලසුම් කිරීම (System Design)
  4. පද්ධති සංවර්ධනය (System Development)
  5. පද්ධති පරීක්ෂාව (System Testing)
  6. පද්ධති ක්‍රියාත්මක කිරීම (System Implementation)
  7. පද්ධති නඩත්තුව (System Maintenance)


ඉහත දැක්වෙන එක එක අවධීන් ඒවාට අනන්‍ය වූ කාර්යාවලි සම්පූර්ණ කරමින් තොරතුරු පද්ධතිය ගොඩනැංවීමට දායක වෙයි. මෙය චක්‍රීයව පුනරාවර්තනය වීම සිදුවීම තුලින් තවදුරටත් තොරතුරු පද්ධතිය සංවර්ධනය නිවැරදි අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් සිදුවේ. රූපසටහන් අංක 4 හි මෙම පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ඔබගේ අවධානයට රූපසටහන් ඇසුරෙන් ඉදිරිපත් කර ඇත.   



රූපසටහන 4

දැන් අප මෙම පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ වූ විවිධ අවධි පිලිබදව සාකච්චා කරමු.

1.  පද්ධති හදුනාගැනීම (System Investigation)

නව පද්ධතියක් පිළිබද අදහසක් ඉදිරිපත් කිරීම හෝ පවතින පද්ධතියක් පිලිබදව සංවර්ධනාත්මක යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවක සිට මෙම අදියර ක්‍රියාත්මක වෙයි. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ පද්ධතිය පිලිබදව පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා එවැනි පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය හදුනා ගැනීමයි. ඒ සදහා අංශ දෙකක් ඔස්සේ විමර්ශනය සිදු කරයි.

  • මුලික විමර්ශනය (Preliminary Investigation) - මෙහිදී පද්ධතිය හදුනා ගැනීම හා එහි පවතින ගැටළු හදුනා ගනී.
  • ශක්‍යතා අධ්‍යනය ( Feasibility Study) - පද්ධතිය පිහිටු වීම පිලිබදව යෝග්‍යතා පරීක්ෂණයක් සිදු කරන අතර එහිදී යෝජිත පද්ධතිය පුද්ගලයාට හෝ ආයතනයට කෙතරම් දුරට ගැලපේද යන්න පිලිබදව විස්තරාත්මක විමර්ශන වාර්තාවක් ලබා දෙයි.
ශක්‍යතා වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව පද්ධති හදුනා ගැනීම හෙවත් විමර්ශනය කෙරීමේ අවධිය අවසන් වෙයි.

2. පද්ධති විශ්ලේෂණය (System Analysis)

ශක්‍යතා වාර්තාව පිළබද වූ ව්‍යපෘති කමිටුව නව පද්ධතියක අවශ්‍යතාවය පිලිබදව ඔවුන් සැහීමකට පත් වුවහොත් ඉදිරිපත් කරන ලද ශක්‍යතා වාර්තාව පිලිබදව සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කරයි. මෙහිදී පද්ධතියේ අරමුණු, ඊට අදාල විෂය සන්ධාරය, අවශ්‍ය භෞතික හා මානව සම්පත්, යෝජිත නව පද්ධතිය සංවර්ධනය කිරීමේදී ඇතිවන ගැටළු හා සීමා, අදාල ආයතනයේ ව්‍යුහය, කළමනාකරණ මට්ටම් හා මෙහෙයුම් මට්ටම් පිලිබදව සවිස්තරාත්මකව අධ්‍යනයක් සිදු කරයි. මෙසේ පුළුල් අධ්‍යනයක් සිදු කරනුයේ, යෝජිත නව පද්ධතිය මගින් එහි සියලු පරිශීලකයන්ගේ අවශ්‍යතා මනාව ඉටු විය යුතු බැවිනි. ඒ අනුව පද්ධති විශ්ලේෂණයේදී දත්ත එක් රැස් කිරීම හා එම දත්ත තොරතුරු බවට පත් කිරීම තුලින් පද්ධතියේ අවශ්‍යතා සවිස්තරාත්මකව විමර්ශනය කෙරේ.

3. පද්ධති සැලසුම් කිරීම (System Design)

ශක්‍යතා අධයනයේත් පද්ධති විශ්ලේෂනයේත් ප්‍රතිපලයක් ලෙස පද්ධති සැලසුම් කිරීම සිදු කරයි. එය ප්‍රධාන ආකාර දෙකකින් දැක්විය හැකිය.
  • තාර්කික පද්ධති සැලසුම් කිරීම (Logical System Design) - මෙහිදී පද්ධතියේ දත්ත, තොරතුරු, ක්‍රියාවලීන් හා ගොනු ආදිය තාර්කික වශයෙන් සම්බන්ධ වන ආකාරය නිරූපණය කරයි. මේ සදහා පහත දැක්වෙන ක්‍රමෝපායන් භාවිතයට ගැනේ.
                  පද්ධති ගැලීම් රූපසටහන් (System Flow Diagram)
                  දත්ත ප්‍රවාහ රූපසටහන් (Data Flow Diagram)
  • භොතික පද්ධති සැලසුම් කිරීම (Physical System Design) - මෙහිදී අතුරු මුහුණත් නිර්මාණය, ආදානය, සැකසුම, ප්‍රතිදානය, ක්‍රමලේකනය, පරිශීලනය හා ආරක්ෂාව පිලිබදව අවධානය යොමු කොට එය සම්පූර්ණ කරනු ලබයි. මීට අමතරව මෙම තාර්කික හා භොතික පද්ධති වලට අදාළ තොරතුරු ඉතා විධිමත් ලෙස ලේකනගත කිරීමද පද්ධති සැලසුම් ක්‍රියාවලියේදී සිදු කෙරේ.  

 4. පද්ධති සංවර්ධනය (System Development)

මෙහිදී සැලසුම් කල පද්ධතිය මොඩියුල හෙවත් එකක වලට බෙදා උචිත ක්‍රම ලේකන භාෂාවක් භාවිතයෙන් දෝෂ අවම ක්‍රමලෙක අඩංගු යෙදවුම් මෘදුකාංග පද්ධති සැදීමට ක්‍රමලේකකයන්ට පවරා දෙනු ලැබේ. මෙසේ නිර්මාණය කර ගත් මොඩියුල කලින් නිර්මාණය කර ගත් අතුරුමුහුණත් හා සම්බන්ධ කර සමස්ත පද්ධතිය ගොඩනැගීම සිදුකෙරේ.

5. පද්ධති පරීක්ෂාව (System Testing)

දෝෂ අවම උසස් තත්වයේ පද්ධතියක් සේවා දායකයාට ලබා දීම සදහා ස්වාධීන කණ්ඩායමක් (Quality Assurance Staff) විසින් පද්ධතිය සම්පූර්ණ පරීක්ෂාවට ලක් කෙරේ. මෙහිදී සමස්ත පද්ධතිය මගින් සේවා දායකයාගේ අවශ්‍යතා ඔහු බලාපොරොත්තු වන ආකාරයට සපයයිද යන්නත් ක්‍රම ලේකනයේ ඇති දෝෂ පිලිබදවත් දැඩි පරීක්ෂාවට ලක් කෙරේ.

6. පද්ධති ක්‍රියාත්මක කිරීම (System Implementation)

සාර්ථකව නිම කරගන්නා ලද පද්ධතිය ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු කෙරේ. මෙහිදී සම්පූර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්ව ලේඛනගත කිරීමක් සිදු කල යුතු අතර පද්ධතිය භාවිතා කරන ආකාරය පිලිබදව පරිශීලකයන් සියලු දෙනා දැනුවත් කෙරේ. එසේම පද්ධතියට අවශ්‍ය දෘඩාංග ස්ථාපනය කිරීම හා මෘදුකාංග ස්ථාපනය කිරීම මෙම අවධියේදී සිදු වේ. එසේම පද්ධතියේ සාර්තකත්ව හා අසාර්ථකත්වය ද මෙහිදී තීරණය කරනු ලබයි.

7. පද්ධති නඩත්තුව (System Maintenance)

නව පද්ධතිය ස්ථාපනය කල පසු පන නගින දෝෂ මග හරවා ගැනීමටත්, තාක්ෂණික දියුණුව සමග පද්ධතිය යාවත් කාලීන කිරීම සදහාත් පද්ධති නඩත්තුව ඉතා වැදගත් වෙයි.

හොදයි, දැන් අපි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය යනු කුමක්ද, එහි පවතිනාවූ පියවර මොනවාද යන්න පැහැදිලි අවභෝදයක් ලබා ගත්තා. එනමුදු බොහෝ පද්ධති සංවර්ධනය කිරීමේදී එම පද්ධති වල පවතින් අවශ්‍යතා වල විවිධාන්ගීකරණයක්  දක්නට ලැබේ. එම විවිධාන්ගීකරණයන්; අවශ්‍යතා (Requirements), පද්ධති සංවර්ධන ශ්‍රමිකයන්, ඔවුන් පද්ධති සංවර්ධන ක්‍රියාවලියේ යෙදෙන ආකාරය වෙනි සාධක මත රදා  පවතයි. ඒ අනුව පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ වූ අවධීන්ද මෙම අවශ්‍යතා මත වෙනස් කොට භාවිත කිරීම අවශ්‍ය වේ. එහි ප්‍රතිපලයක් ලෙස විවිධ වූ පද්ධති සංවර්ධන පිවිසුම් මාර්ග විවර වෙයි. මම පිවිසුම් මාර්ග තොරතුරු පද්ධති ආකෘති ක්‍රමවේද ලෙස හදුන්වයි.

එය මීලග පාඩමින් සාකච්චා කරනු ලබයි.

තොරතුරු පද්ධති ආකෘති

හොදයි, දැන් අපි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය යනු කුමක්ද, එහි පවතින්නාවූ පියවර මොනවාද යන්න කලින් පාඩමින් සාකච්චා කලා. එනමුදු බොහෝ පද්ධති සංවර්ධනය කිරීමේදී එම පද්ධති වල පවතින අවශ්‍යතා වල විවිධාන්ගීකරණයක්  දක්නට ලැබේ. එම විවිධාන්ගීකරණයන්; අවශ්‍යතා (Requirements), පද්ධති සංවර්ධන ශ්‍රමිකයන්, ඔවුන් පද්ධති සංවර්ධන ක්‍රියාවලියේ යෙදෙන ආකාරය වැනි සාධක මත රදා  පවතයි. ඒ අනුව පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ වූ අවධීන්ද මෙම අවශ්‍යතා මත වෙනස් කොට භාවිත කිරීම අනිවාර්ය වේ. එහි ප්‍රතිපලයක් ලෙස විවිධ වූ පද්ධති සංවර්ධන පිවිසුම් මාර්ග විවර වෙයි. මෙම පිවිසුම් මාර්ග තොරතුරු පද්ධති ආකෘති ක්‍රමවේද ලෙස හදුන්වයි. ඒ පිලිබදව දැන් අපි සවිස්තාරාත්මකව සාකච්චා කරමු.



තොරතුරු පද්ධති ආකෘතියක් යනු කුමක්ද?

තොරතුරු පද්ධති ආකෘතියක් යනු මෘදුකාංග සංවර්ධන ක්‍රියාවන්, මෘදුකාංග නිමැවුම් හා ඒ හා බැදුණු මානව සම්පත් වලින් සැදුම් ලත් සමස්ත මෘදුකාංග සංවර්ධන පිළිවෙතයි. මෙහිදී මෘදුකාංග සංවර්ධන ක්‍රියාවන් ලෙස පද්ධති හදුනාගැනීම, දත්ත එක් රැස් කිරීම හා විශ්ලේෂණය, පද්ධති සැලසුම් කිරීම, පද්ධති කේතකරණය හා පරීක්ෂාව, පද්ධති ස්ථාපනය කිරීම හා පද්ධති නඩත්තුව දැක්විය හැකිය. පද්ධති නිමැවුම් ලෙස මෘදුකාංග හා එම මෘදුකාංග සංවර්ධනය හා බැදුණු ලේඛන දැක්විය හැකිය. මෘදුකාංග සන්වර්ධනයේ යදෙන මානව සම්පත් ලෙස පද්ධති නිර්මාණකරුවන්, ඉංජිනේරුවරුන්, දත්ත ගබඩා පාලකයන්, සැපයුම්කරුවන්, ක්‍රමලේඛකයන්, ව්‍යපෘති කළමනාකරුවන් දැක්විය හැකිය.

හොදයි, දැන් අපි මේ කරුණු තව දුරටත් අවබෝධ කරගැනීමට අපේ සුපුරුදු උදාහරණයට හැරෙමු. එනම්, සමන් මහතාගේ නිවස ඉධිකිරීම පිළිබද වූ සමනල බිල්දෙර්ස් ආයතනයේ ක්‍රමවේදය වෙත. මෙය පාඩම් අංක 2 (රූපසටහන් 3) පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතියද ජීවන චක්‍රයකින් සැදුම් ලද බව අපට හැගී යයි. මෙහිදීද සමන් මහතාගේ අවශ්‍යතා අනුව නිවස ඉධි කිරීමේදී මෙම මුල් ජීවන චක්‍රයේ වූ ක්‍රියාවලි (පාඩම් අංක 2 - රූපසටහන් 3) සමනල බිල්දෙර්ස් ආයතනයට වෙනස් කරන්නට සිදුවේවි. එවිට ඔවුන්ටද කිසියම් වූ සුවිශේෂ ව්‍යපෘති නිමවීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වේ. තවදුරටත් පැහැදිලි කල හොත්, අපි හිතමු සමන් මහතා  මාස  6 ඇතුලත නිවස සදා නිමකිරීමට පවසා, මාස 4 ක් ඇතුලතදී ගෙවදීමට සුදුසු වන පරිදි නිවස ඉධි කරන ලෙස සමනල බිල්දෙර්ස් ආයතනයෙන් ඉල්ලා සිටියහොත්, එයට එම ආයතනය එකග වුව හොත්, එම  ආයතනයට එකී පරිදි නිවස ඉධි කිරීමට ඔවුන්ගේ සාම්ප්‍රදායික ක්‍රමවේදය යම් කිසි ආකාරයකට වෙනස් කිරීමෙන් ව්‍යාපෘතිය නිම කිරීමට සිදු වෙයි. මෙය හරියටම ගතහොත් තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමේදී තොරතුරු පද්ධති ආකෘතියක් තෝරා ගැනීම හා සම කල හැකි වේ. දැන් ඔබට පද්ධති සංවර්ධන ජීවන චක්‍රය හා තොරතුරු පද්ධති ආකෘතිය යනු කුමක්ද, එය අවශ්‍ය වන්නේ කෙසේද යන්න පිලිබදව පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇති කියා සිතනවා.

ලොව පද්ධති සංවර්ධනය සදහා භාවිතා වන විවිධ ක්‍රමවේද පවතයි. මීලගට අපි ඉන් කිහිපයක් හදුනා ගනිමු. 
  • දිය ඇලි ආකෘතිය
  • සර්පිල ආකෘතිය
  • එකීකෘත සංවර්ධන ආකෘතිය
  • ශීග්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය
දැන් අපි මෙම පොදු ව්‍යවහාරයේ පවතින පද්ධති සංවර්ධන ආකෘති පිලිබදව මදක් සාකච්චා කර බලමු.

දියඇලි ආකෘතිය (Waterfall Model)

දියඇලි ආකෘතිය යනු සරල රේඛිය ආකාරයකට තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමේ ආකෘතියයි. මෙහි මුල් ආකෘතිය W.W. Royce විසින් ඉදිරිපත් කරන ලදී. දියඇලි ආකෘතියේ අඩංගු මුලික පියවර වන්නේ;


  • system definition,
  • software analyzing,
  • system design,
  • system development,
  • testing,
  • system implementation හා
  • Maintenance වේ.

දියඇලි ආකෘතියේ මෙම පියවර පහත දැක්වෙන ආකාරයට රූපසටහනක් ආකාරයෙන් ඉදිරිපත් කල හැක (රූපසටහන 5) මේ ආකෘතියට අනුව එක් පියවරක වලංගුතාව හෝ සාර්තකත්වය අනුව ඉදිරි පියවර සදහා යොමු විය හැකිය. එසේ නොවුනහොත් මතු වන එම පියවර පුනරාවර්තනය කිරීම සිදු කෙරේ. මෙම ක්‍රමවේදයට අනුව තොරතුරු පද්ධතිය සංවර්ධනය නොනවතින ක්‍රියාවලියකි. එය වඩාත් ගැලපෙන්නේ අවශ්‍යතා හොදින් හදුනා ගත් තොරතුරු පද්ධති සංවර්ධනය කිරීමටයි.

 රූපසටහන 5

දියඇලි ආකෘතිහි අවාසිද ඇත. එනම්;
  • සබැලෝකයේ තොරතුරු පද්ධති ව්‍යපෘති ක්‍රියාත්මක වීමේදී සැම විටම රේඛිය පියවරන් ඔස්සේ සිදු නොවන නිසා මෙම ආකෘතිය භාවිත කල නොහැක.
  • සේවාදායකයාගේ සියලු අවශ්‍යතා මොනවාදැයි ව්‍යපෘති කණ්ඩායම හදුනාගෙන නොමැති වීම.
  • අවසාන නිමැවුම ලබාගැනීමට ගතවන කාලය අවිනිශ්චිත වීම හා සේවාදායකයාට නිමැවුම දැකගැනීමට හැකි වන්නේ අවසානයේදී බැවින් එය ඔහු බලාපොරොත්තු නොවූ එකක් විය හැකි වීම.
  • පියවර ඉදිරියට ගෙන යා හැක්කේ පියවරෙන් පියවර බැවින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කල යුතු වීම හේතුවෙන් ව්‍යපෘති කණ්ඩායමේ එක් එක් පියවර සකස් කරන සාමාජිකයන්ට අනවශ්‍ය ලෙස බලා සිටීමට සිදු වීම.

සර්පිල ආකෘතිය (Spiral Model)

1988 දී Boehm විසින් ඉදිරිපත් කරන ලද මෙම ආකෘතියට අනුව තොරතුරු පද්ධති වෙළුම් ලෙස ඉතා වේගවත්ව සංවර්ධනය කරනු ලබයි. සර්පිල ආකෘතිය ක්‍රියාකාරී රාමු හෙවත් කාර්යය කලාප කිහිපයකට බෙදා ඇත. එම කාර්යය කලාප හදුනා ගැනීමේදී පහත දැක්වෙන කරුණු වෙත අවධානය යොමු කිරීම වැදගත් වෙයි.

  • සේවාදායකය හා නිමැවුම සංවර්ධනය කරන්නා අතර පලදායී සන්නිවේදනයක් ගොඩනැගීමේ අවශ්‍යතාව හදුනා ගැනීම.
  • සම්පත් අර්ථ දැක්වීම, කාල සීමාවන් නීර්ණය කෙරීම සහ ව්‍යාපෘතියට අදාළ තොරතුරු නීර්ණය කිරීම සදහා අවශ්‍ය කාර්යය නීර්ණය කිරීම.
  • අවදානම් විශ්ලේෂණය කාර්යය තක්සේරු කිරීමේදී තාක්ෂණික අවදානම හා කළමනාකරණ අවදානම යන දෙකම සැලකිල්ලට ගත යුතුය.
  • යෙදවුම් නියෝජනයන එකක් හෝ වැඩි ගණනක් නියෝජනය සදහා ඉංජිනේරු සහය අවශ්‍ය වෙයි.
  • ගොඩ නැගීමේ හා නිදහස් කිරීමේ කාර්යය සදහා ගොඩ නැගීම, පරීක්ෂා කිරීම පිහිටුවීම සහ පරිශීලක උපක්‍රම සැපයීම අවශ්‍ය වේ.
  • පිහිටු වීම් ක්‍රියාත්මක කරන අවධියේදී සහ නිර්මාණකරන ඉන්ගිනේරු අවධියේ දී ඒ මත පදනම් වූ පරිශීලක ප්‍රතිපොෂක අවශ්‍ය වේ.
සර්පිල ආකෘතියේ ස්වරූපය රූපසටහන් අංක 6 දක්වා ඇත.    
රූපසටහන 6

එකිකෘත සංවර්ධන ආකෘතිය (United Development Model)

එකකෘත ආකෘතියට අනුව තොරතුරු පද්ධතිය සංවර්ධනය, පුනරාවර්තනයන් සහිතව මනා වූ ප්‍රවර්ධන සහිතව ක්‍රමානුකුලව සංවර්ධනය වීම සිදු වෙයි. පද්ධති සංවර්ධන ආකෘතිය පුනරාවර්තනයන් සහිත වීම, ප්‍රවර්ධක බව, use case මත පදනම් වීම, Architecture එක මුල් කර ගැනීම, අවදානම ගැන සැලකිලිමත් වීම මෙම ආකෘතියේ ලාක්ෂණික ගුණාංග වෙයි.  මෙම ආකෘතියට අනුව පද්ධතියක් ප්‍රධාන අවධි 4 කින් නිම වෙයි. එම අවධි නම්; inspection, elaboration, construction සහ transition ය. එකිකෘත ක්‍රමවේදයේ රූපසටහන, රූපසටහන් අංක 7 න් දක්වා ඇත.

රූපසටහන 7


ශීග්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය (Rapid Application Development)

අතිශය කෙටි සංවර්ධන චක්‍රයක් සහිත රේඛිය මෘදුකාංග සංවර්ධන ක්‍රියා පිලිවෙතක් සහිත ආකෘතියකි. අවශ්‍යතා හොදින් පවතී නම් මෙම ආකෘතිය භාවිතයෙන් වේගවත් ලෙස එනම් දින 60-90 අතර මෘදුකාංග සංවර්ධනය කර ගත හැකිය. ශීග්‍ර යෙදවුම් සංවර්ධන ක්‍රියාවලියේ රූපසටහන, රූපසටහන් අංක 8 දක්වා ඇත.
රූපසටහන 8

පද්ධති නිර්මාණකරනය සහ සංවර්ධනය

 
පද්ධති  සංවර්ධන  ක්‍රමවේද 

පද්ධති සංවර්ධනය කිරීම සදහා මුලික වශයෙන් ව්‍යවහාරයේ පවතින් ප්‍රධාන ක්‍රම දෙකක් පවතී. ඒවා නම් ව්‍යුහගත ක්‍රමවේදය (Structured Method) හා වස්තු නැබුරු ක්‍රමවේදයයි (Object Oriented Method). දැන් අපි මෙම ක්‍රමවේදවල වෙනස හදුනා ගනිමු.
 
ව්‍යුහගත ක්‍රමවේදය (Structured Method)

ව්‍යුහගත ක්‍රමවේදයට අනුව කිසියම් තොරතුරු පද්ධතියක් නිර්මාණය කරනුයේ එහි ක්‍රියා (functions) මුල් කර ගනිමිනි. එබැවින් මෙම පද්ධති සංවර්ධනය තුල ක්‍රියා නැබුරු (function oriented) සංවර්ධන පිළිවෙතක් අනුගමනය කරනු ලබයි. මෙහිදී පද්ධති විශ්ලේෂණ ක්‍රියාවලියේදී පද්ධතියේ ප්‍රධානතම ක්‍රියාවන් (high level functions) මුලින් හදුනා ගන්නා අතර අනතුරුව ඒවා වඩාත් සවිස්තරාත්මක ක්‍රියාවන් (functions) බවට වියෝජනය (decompose) කරනු ලබයි.  පසුව මෙම සවිස්තරාත්මක ක්‍රියාවන් පද්ධතියේ ව්‍යුහයට අනුරූපණය (map) කරනු ලබයි. ව්‍යුහගත ක්‍රමවේදයට අනුව පද්ධතියක් නිර්මාණය හා සංවර්ධනය කරන ආකාරය ගැන පසුව අපි සවිස්තරාත්මකව උදාහරණ සහිතව සාකච්චා කරමු.

වස්තු නැබුරු ක්‍රමවේදය (Object Oriented Method)

වස්තු නැබුරු ක්‍රමවේදයට යනු තොරතුරු පද්ධතියක් ඉදිරිපත් කල යුතු ගැලුවේ පවතින වස්තුන් (objects ) හා ඒවායේ අන්තර්ක්‍රියා (relationship) හදුනාගනිමින් පද්ධති සංවර්ධනය කිරීමේ ක්‍රමවේදයකි. මෙහිදී ගැටලුවේ පවතින වස්තුන් මුලිකව හදුනාගෙන වර්ග කරගනු ලබයි. සමජාතීය වස්තුන් එක කුලකයකට ඇතුලත් කරගත් හැකි පරිදි ආකෘතින් නිර්මාණය කරගනු ලබන අතර ඒවා පන්ති ලෙස හදුන්වයි. මෙවැනි පන්ති (classes) පාදක කර ගනිමින් අපට විවිධ වූ වස්තු බිහි කරගත හැකි අතර එම විවිධ වූ වස්තු එකිනෙක අතර ගැටලුවේ ස්වභාවය අනුව ඇති කර ගන්නා සම්බන්ධතා මත පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇති වේ. මෙම ක්‍රමයට අනුව විශ්වසනීයව නඩත්තු කර හැකි, මෘදුකාංග සැලසුම් වැඩිදියුණු කෙරීම සදහා භාවිත කල හැකි මුලධර්ම තුනක් පවතී.
  1. වියුක්තීකරණය (Abstraction) - වස්තු යනු සබැ ලෝකයේ වෙන් කර දැක්විය හැකි කොටසකි. එනම් උපුටා දැක්විය හැකි කොටසකි. ඒවා බොහෝ විට නඩත්තු කල හැකි ඒවා මෙන්ම නැවත භාවිතා කිරීමද කල හැකිය.
  2. සංශිප්තකරණය (Encapsulation) - නඩත්තු කිරීමේ ක්‍රියාව වැඩි දියුණු කර ගැනීම සදහා වස්තු අභ්‍යන්තර අන්තර්ගතය අනෙකුත් උපාංගයන්ගෙන් සගවා තබා ගැනීම සංශිප්තකරනයි.  
  3. ප්‍රවේණිය  (Inheritance) - වස්තු නැවත භාවිතයට අනුබල දීම සදහා පන්ති අනුපිළිවෙලක් සහිතව වස්තු සංවිධානය කිරීම ප්‍රවේණිය ලෙස හදුන්වයි.
මෙතැන් සිට මෙම පාඩම් මාලාවේ අරමුණ වනුයේ ව්‍යුහගත ක්‍රමවේදය මුල් කරගනිමින් පද්ධතියක් නිර්මාණය කරගැනීමේදී පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ වූ අවධි වලට අනුව එය සිදු කරන අයුරු සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමයි.

 තොරතුරු පද්ධතියක අවශ්‍යතාව හා එහි සාධයතාව විමසීම
 
මුලින්ම අපේ හුරුපුරුදු උදාහරණය දෙස හැරී අනතුරුව පාඩමට අදාළ කරුණු ඒ ඇසුරින් සාකච්චා කරමු.

සමන් මහතාගේ නිවස ගැන මුල් සැලසුම් සැකසීම

කතාවේ මුලින් සදහන් කල පරිදි සමන් මහතා අවසානයේ සමනල් බිල්දෙර්ස් ආයතනය හා එක්ව තම නිසව ඉධි කිරීමට එකග විය. එම යෝජිත නිවසේ මුල් සැකසුම් සකස් කල ආකාරය ගැන මෙම කොටසින් විස්තර කෙරේ.

සමන් මහතාට තම දෙමාපිය උරුමයෙන් ලද ඉඩමක් තමන් පදිංචි ප්‍රදේශයේ ඇති අතර මෙම ඉඩමේ ඔහු තම නිවස ඉධි කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. මේ බව ඔහු සමනල බිල්දෙර්ස් ආයතනයට දැන්වූ පසු එම ආයතනයේ සේවය කරන සිවිල් ඉංජිනේරුවරයෙකු වන නිමල් මහතා සමන් මහතාගේ නිවාසය ඉධි කිරීමේ ව්‍යාපෘතියට සමනල බිල්දෙර්ස් ආයතනය විසින් පත් කරන ලදී. දිනක් නිමල් මහතා සමන් මහතා සමග ඉඩම බැලීමට ගිය අතර එහිදී නිමල් මහතා හොදින් එම ඉඩම පරීක්ෂා කරන ලදී. තවද නිමල් මහතා එම ඉඩම මැන එම කියවීම් තම සටහන් පොතේ සටහන් කර ගන්නා ලදී. අනතුරුව නිමල් මහතා අවට ඉඩම් වල ස්වභාවය, එම ඉඩම් වල නිවාස ඉධි කර ඇති ආකාරය පිලිබදව අවධානය යොමු කල අතර, එම ඉඩම් වල නිවාස පිහිටා ඇති ආකාරය පිලිබදව දල සටහන් තම සටහන් පොතේ පිටපත් කරගත්තේය. මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව නිමල් මහතා සමන් මහතාගේ නිවස ඉධි කිරීමට සුදුසු ප්‍රදේශය ඉඩමේ සලකුණු කරන ලදී. අනතුරුව ඒ පිලිබදව අනුමැතියද සමන් මහතාගෙන් විමසන ලදී. එසේම ඉඩමේ ස්වභාවය පිළිබදවද සැලකිලිමත් වුනු නිමල් මහතා ඉඩමේ වූ බෑවුම් සහිත ප්‍රදේශ පස් පුරවා සකස් කල යුතු බවද පැවසීය. ඉන් පසුව දෙදෙනාම විසිර ගියෝය.
 
තවත් දවසක නිමල් මහතා නිවසේ සැලසුම පිලිබදව කතිකා කර ගැනීමට සමන් මහතාට තම කාර්යාලට පැමිණෙන ලෙස දැන්වීය. එහිදී සමන් මහතා තම සිහින නිවාස පිළිබද ඔහුගේ සැලසුම නිමල් මහතාට ඉදිරිපත් කළේය. එය නිදන කාමර 4 කින්, ආලින්දයකින්, කෑම කාමරයකින් හා නිවසටම සම්බන්ධිත නාන කාමරයකින් හා වසිලිකිලි පද්ධතියකින් සමන්විත තනි මහල් නිවාසයක් පිළිබද සැලසුමකි. එසේම නිවස සෑදීමට යෙදිය යුතු අමුද්‍රව්‍ය, කාලය, වැය කල හැකි මුදල් පිළිබදවද සමන් මහතා නිමල් මහතාව දැනුවත් කළේය. මේ අයුරින් කිහිප දිනක් මෙම සාකච්චා පැවැති අතර අවසානයේ නිමල් මහතා සමන් මහතාගේ නිවාස සැලසුම හා ඇස්තමේන්තුව එම සාකච්චා වලදී මතු වුන කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සැකසීය. අනතුරුව මෙම නිවාස සැලසුම හා ඇස්තමේන්තුවද සමන් මහතා හා එක්ව සාකච්චා කොට එකගතාවයකට පැමිණි පසු නෛතික අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කිරීමට අත්සන් තබන ලදී.
 
මෙම කතාව ගැන හොදින් විමසා බලන්න. මෙහි වන්නේ කුමක්ද? සමන් මහතගේ නිවස ඉධි කිරීම ගැන නිමල් මහතා කරන සොයා බැලීමක් පිලිබදව මෙහි විග්‍රහ වෙයි. මුලින්ම ඉඩම පිලිබදවත් , පසුව නිවාස සැලසුම, කාලය, මුදල්, සමන් මහතාගේ අවශ්‍යතා යන මේ සියල්ල පිළිබදවම අවධානය යොමු කරමින් සමන් මහතාගේ එකගතාවයද මත නිමල් මහතා සැලසුම් හා ඇස්තමේන්තු සකස් කරයි. තොරතුරු පද්ධතියක් අලුතින් යෝජනා කිරීමේදීද තත්වය මෙසේම වෙයි. මෙය පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පද්ධති හදුනාගැනීම යන අවධියට සමාන වෙයි. පාඩමේ මීලග කොටසින් අපි පද්ධතියක් සැලසුම් කිරීමේදී මෙම මුල් සොයාබැලීම වැදගත් වන ආකාරය ගැන සවිස්තරාත්මකව සාකච්චා කරමු.

තොරතුරු පද්ධතියක අවශ්‍යතාව හා එහි සාධයතාව විමසීම

මෙම අවධිය දැක්වෙන ආකාරයට මුලික අංශ දෙකකින් සමන්විත වෙයි.

1. මුලික විමසා බැලීම (Preliminary Investigation)

තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමට යෝජනා කල යුත්තේ අදාළ සේවාදායකයාගේ ආයතනයේ ව්‍යුහය, අරමුණු හා අපේක්ෂාවන් පිලිබදව මුලිකව සලකා බැලීමෙන් අනතුරුවය. මෙහිදී නව පද්ධති සැලසුම් කරුවන් විසින් පහත සදහන් කරුණු පිලිබදව අවධානය යොමු කල යුතුය.

පවතින පද්ධතියේ ඇති ගැටළු හදුනා ගැනීම හා ඒ පිලිබදව වාර්තාවක් සකස් කිරීම - නව පද්ධති සැලසුම් කරුවන් විසින් මුලින්ම සිදු කල යුත්තේ ආයතනය තුල නිරාකරණය කරගත යුතු ගැටළු හදුනා ගෙන ඒවාට විසදුම් සොයා ගැනීමට අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි ඉදිරිපත් කිරීමයි. මෙය ආයතනයේ ඉහල මට්ටමේ සිට පහල මට්ටම දක්වා ගැටළු නිරාකරණය කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.
විකල්ප විසදුම යෝජනා කිරීම - නව විකල්ප විසදුම් යෝජනා කිරීම යටතේ ව්‍යාපෘතියට අලුතින් ඇතුලත් කල යුතු කොටස්, දැනට පවතින පද්ධතියේ සංවර්දනය කල යුතු ස්ථාන හා නව යෝජනා ආදී ආයතනයේ සාර්ථකත්වය සදහා ඉහල කලමකාරීත්වයට පහසුවෙන් තීරන ගත හැකි ආකාරයේ විකල්ප යෝජනා ලබා දීම සිදු කල යුතුය. මෙහිදී;
  • යෝජිත නව ව්‍යාපෘතිය මගින් ආයතනයේ දියුණුවට ලැබෙන ප්‍රතිලාභ හා පිරිවැය
  • ආයතනය තුල නව පද්ධති භාවිත කිරීමට අදහස් කරනු ලබන ක්‍ෂේත්‍ර හා ඉන් ලැබිය හැකි ප්‍රයෝජන
  • නව පද්ධතිය දියුණු කිරීමේදී මුහුණ දීමට සිදු විය හැකි සීමා හෙවත් දුෂ්කරතා හා ඒවා මගහරවා ගත හැකි ආකාරය පිළිබද විස්තර
  • යෝජිත නව පද්ධතියට අවශ්‍ය සම්පත් හා ඒවා ආයතනය තුල බෙදී යා යුතු ආකාරය
  •  නව ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම සදහා ගත වන කාල සීමාව යන කරුණු යෝජනා වලට ඇතුලත් විය යුතුය.
තොරතුරු පද්ධතියේ අවශ්‍යතාවට ප්‍රමුඛතාව ලබා දීම - මෙම මුලික අධ්‍යන වාර්තාව පදනම් කර ගනිමින් ආයතනයේ ඉහල කළමනාකාරීත්වය සෑහීමකට පත් වේ නම් නව තොරතුරු පද්ධතියට ප්‍රමුඛතාව ලබා දී පද්ධතිය ගොඩනැගීම සිදු කරනු ලැබේ.

2. ශක්‍යතා අධ්‍යනය (Feasibility Study)

යෝජිත නව පද්ධතිය පිලිබදව අනුමැතිය ආයතනයේ ඉහල කළමනාකාරිත්වයෙන් ලබා දුන් පසුව ශක්‍යතා අධ්‍යන කණ්ඩායම විසින් නව පද්ධතියේ යෝග්‍යතාව අධ්‍යනය කරනු ලැබේ. නව පද්ධතිය ආයතනයට හදුන්වා දීම පිලිබදව කරනු ලබන සවිස්තරාත්මක විමර්ශනයක් ලෙස ශක්‍යතා අධ්‍යනය හැදින්වේ. මෙය සාධක කිහිපයක් ඔස්සේ දියත් කරනු ලබන අතර එය කෙටියෙන් පහත විස්තර කර ඇත.

  • තාක්ෂණික ශක්‍යතාව (Technical Feasibility) - නව පද්ධතිය සැකසීමට අවශ්‍ය වන තාක්ෂණික මෙවලම් පිළිබද ශක්‍යතාව මෙහිදී අධ්‍යන කරනු ලැබේ. පද්ධතිය සංවර්ධනය කිරීමට බලපාන සාධක, නව පද්ධතිය තුල භාවිතා කල හැකි දත්ත, තොරතුරු, ක්‍රියාවලි, මෘදුකාංග, ජාල, දෘඩාංග පිලිබදව විමර්ශනය කිරීම මෙහිදී සිදු කරයි.
  • ආර්ථික ශක්‍යතාව (Economic Feasibility) - මෙහිදී නව පද්ධතිය ආර්ථිකමය අතින් අදාළ ආයතනයට දක්වන බලපෑම සොයා බලනු ලබයි. එම පද්ධතිය මගින් ආයතනයට ආර්ථික වාසි, අවාසි පිලිබදව, නිශ්චිත වියදම්, අවිනිශ්චිත වියදම්, නිශ්චිත ප්‍රතිලාභ, අවිනිශ්චිත ප්‍රතිලාභ මෙහිදී සලකා බලනු ලබයි.
  • මෙහෙයුම් ශක්‍යතාව (Operational Feasibility) - නව පද්ධතිය මෙහෙයුම් සදහා ක්‍රියාකාරීත්වයට පත් කල හැකිද යන වග අධ්‍යනය කිරීම මෙහෙයුම් ශක්‍යතාව ලෙස හැදින්වෙයි. නව ව්‍යාපෘතිය පිළිබද අභිප්‍රේරණය (Motivation) කාර්යක්ෂම ලෙස සැලසුම් සංවිධානය හා ප්‍රතිග්‍රහණය ( Acceptance) මෙයට අදාළ වෙයි.
  • ආයතනික ශක්‍යතාව ( Organizational Feasibility) - නව පද්ධතිය පිලිබදව ආයතනයේ හෝ සංවිධානයේ කළමනාකරණ මණ්ඩලය හා කාර්ය මණ්ඩලයේ දැකිය හැකි ආකල්ප චර්යා පිලිබදව අධ්‍යනය කිරීම ආයතනික ශක්‍යතාවයි.
ශක්‍යතා අධ්‍යන කමිටුව මගින් ඉහත කරුණු පිලිබදව ලබා ගත තොරතුරු ඇසුරෙන් ඒ පිළිබද නිවැරදි අධ්‍යනයක් කර පසුව ආයතනයේ ඉහල කළමනාකරණ මණ්ඩලය වෙත ශක්‍යතා වාර්තාව ඉදිරිපත් කරනු ලබයි. එම වාර්තාවේ අඩංගු විය යුතු මුලික කරුණු කිහිපයක් පහත දක්වා ඇත;
  • ආයතනය තුල දැනට පවතින් පද්ධතිය හා ඊට සම්බන්ධ ගැටළු, මතවාද හා එය දියුණු කිරීමට අදාළ විස්තරයක්
  • නව පද්ධතිය දියුණු කිරීම හා සම්බන්ධ සම්පූර්ණ සැලැස්ම පිළිබද විස්තරයක්
  • නව පද්ධතිය ආයතනයට සුදුසු බව දැක්වෙන ශක්‍යතා අධ්‍යන කමිටුවේ අදහස් පිළිබද විස්තරයක්
  • නව පද්ධතිය සදහා ගතවන කාලය හා වියදම පිළිබද ඇස්තමේන්තුවක්
  • පද්ධති සංවර්දනය කිරීමේදී පවතින නීතිමය පසුබිම හා ප්‍රමිතීන් පිළිබද විස්තරයක්

පද්ධති විශ්ලේෂණය (System Analysis)


මුලින් සදහන් කල පරිදි පද්ධති විශ්ලේෂණයේදී මුලිකව සිදුවනුයේ ශක්‍යතා අධ්‍යන වාර්තාව පිලිබදව දීර්ග ලෙස අධ්‍යන කර පද්ධතිය සදහා මුල් වන අරමුණු, ඊට අදාල විෂය සන්ධාරය, අවශ්‍ය භෞතික හා මානව සම්පත්, යෝජිත නව පද්ධතිය සංවර්ධනය කිරීමේදී ඇතිවන ගැටළු හා සීමා, අදාල ආයතනයේ ව්‍යුහය, කළමනාකරණ මට්ටම් හා මෙහෙයුම් මට්ටම් පුළුල්ව හා සවිස්තරාත්මක ලෙස ගොනු කර ගැනීමයි. එත් සමගම අදාළ සේවා දායකයා පද්ධතියෙන් බලාපොරොත්තු වන අවශ්‍යතා හා ගුණාංග පිළිබදවද අධ්‍යනය කර කරුණු ගොනු කරනු ලැබේ.

හොදයි, මෙය වඩාත් පැහැදිලි කර ගැනීමට අපේ හුරුපුරුදු උදාහරණය දෙසට හැරෙමු. එහි සදහන් වන පරිදි නිමල් මහතා අදාළ නිවස ඉධි කිරීමට මත්තෙන් එම ව්‍යාපෘතිය පිලිබදව ශක්‍යතාව විමසා බැලු අයුරු මුලින් විස්තර කලා. මීලගට නිමල් මහතා අදාළ නිවස පිලිබදව සමන් මහතාගේ අවශ්‍යතා පිලිබදව අවධානය යොමු කල යුතුයි. මෙම අවශ්‍යතා නිවැරදිව හදුනා ගැනීමට නිමල් මහතා විවිධ ක්‍රමෝපාය අනුගමනය කල යුතුයි, මන්ද යත් නිවාස තනා නිම කළ විට එය ඇත්ත වශයෙන්ම සමන් මහතා බලාපොරොත්තු වූ ආකාරයටම ඔහුගේ අවශ්‍යතා ඉටුවන අයුරින් තිබිය යුතු බැවිනි. මම අරමුණ දින ගැනීමට නම් නිමල් මහතා සමන් මහතාගේ අවශ්‍යතා හදුනා ගත යුතු අතර ඒ සදහා ක්‍රමෝපාය ලෙස සමන් මහතාව කිහිප විටක් හමු වී සම්මුඛ සාකච්චා පවත්වන ලදී. අනතුරුව පහත දැක්වෙන ආකාරයට සමන් මහතාගේ අවශ්‍යතා හා නිවසේ ගුණාංග නිමල් මහතා හදුනා ගෙන පහත දක්වා ඇති පරිදි ගොනු කරන ලදී.

අවශ්‍යතා
  • නිවාස කාමර 4 කින් යුක්ත විය යුතුය, නිවසට සම්බන්ද ආලින්දය, අමුත්තන්ගේ කාමරය, කෑම කාමරය, වැසිකිලි හා නාන කාමරය තිබිය යුතුය.
  • නිවස ටයිල් අල්ලා නිම කර තිබිය යුතුය.
  • වහලය උළු වලින් නිම කල යුතුය, නිවස තුල හා පිටත වහලය සිවිලිම සාදා තිබිය යුතුය.
  • සම්පූර්ණ ලෙස විදුලි බල පද්ධතියක් සකස් කල යුතුය, සම්පූර්ණ ලෙස ජල නල පද්ධතියක් සකස් කල යුතුය.
  • දොර ජනෙල් සෑම කාමරයකටම 1 ක්වත් තිබිය යුතුය.
ගුණාංග
  • බිත්ති පොටි ආලේප කර කපා ඔප දමා තිබීම.
  • ටයිල් මැලේසියානු වර්ගයේ වීම
  • සිවිලිම ෆිනිෂින් ආකාරයට වීම
  • ලී සදහා මහෝගනී භාවිත කල යුතුය.

ඉහත ගොනුවේ සදහන් වන පරිදි නිවසේ තිබිය යුතු මුලිකාංග හා ගුණාංග අපට පැහැදිලිව අවබෝධ වෙයි. තොරතුරු පද්ධතියක් විශ්ලේෂණය කිරීමේදීද මෙම මුලිකාංග යයි සදහන් කල දේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලපාන අවශ්‍යතා (Functional requirements) ලෙසත් ගුණාංග ලෙස සදහන් කල දී පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලනොපාන අවශ්‍යතා ( Non-functional requirements ) ලෙසත් හැදින් වෙයි. තොරතුරු පද්ධතියක් සංවර්ධනය ඇරබීමීදී විශේෂයෙන්ම මෙම පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලපාන අවශ්‍යතා (Functional requirements) හා පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලනොපාන අවශ්‍යතා ( Non-functional requirements ) පැහැදිවම හදුනා ගත යුතු අතර එය මෙම පද්ධති විශ්ලේෂණ අවධියේදී ඉටු වෙයි. පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලපාන අවශ්‍යතා යටතේ යෝජිත තොරතුරු පද්ධතියෙන් ලබා දෙන සේවාවන් සහ මුලික කෘත්‍යන් පිලිබදව විමර්ශනය කරනු ලබයි. පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලනොපාන අවශ්‍යතා යටතේ යෝජිත පද්ධතියේ ගුණත්වය කෙරෙහි බලපාන සාධක සහ පද්ධතියේ හෝ සංවර්ධන ක්‍රියාවලියේ සීමා පිලිබදව විමර්ශනය කරනු ලබයි. උදාහරණයක් ලෙස පාසලක පුස්තකාලයක් සදහා යෝජිත තොරතුරු පද්ධතියක සිසුන්ගේ ගෙවිය යුතු දඩ මුදල් ගණනය කිරීම පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලපාන අවශ්‍යතාවක් ලෙස හැදින්විය හැකි අතර එම ගෙවිය යුතු දඩමුදල් වාර්තා රහත්ස්‍ය ලෙස පවත්වා ගැනීමට පියවර ගැනීම පද්ධතියේ ගුණත්වය කෙරෙහි බලපාන අවශ්‍යතාවක් ලෙස හදුන්වා දිය හැකිය. පද්ධති විශ්ලේෂණ අවධිය අවසන් වත්ම පද්ධති අවශ්‍යතා විස්තරය (System Requirement Specification / Software Requirement Specification) (SRS) යන වාර්තාව සකස් කරන අතර එය තුල යෝජිත පද්ධතියේ සම්පූර්ණ අවශ්‍යතා හා ගුණාංග ඇතුලත් කර ඇත. මෙම SRS වාර්තාව අනතුරුව සේවාදායකයට ඉදිපත් කරන අතර ඔහු එම වාර්තාවේ ඔහුට අවශ්‍ය සියලු අවශ්‍යතා හා ගුණාංග ඇතුලත් කොට ඇත්දැයි කියවා විමසා බලයි. මෙය හරියට සමන් මහතාගේ නිවසේ උදහරනයේ දැක්වූ පරිදි නිමල් මහතා සමන් මහතාගේ අවශ්‍යතා ගැන සලකා සකස් කල ඇස්තමේන්තුව හා සැලසුමට සමාන කල හැකිය.  ඒ අයුරින්ම SRS  වාර්තාවද කියවීමෙන් පසු සේවාදායකයා එයට එකග වෙයි නම් සේවාදායකය හා සේවායෝජකයා යන දෙපාර්ශවයම එයට අත්සන් තබයි. පසුව මෙම වාර්තාව දෙපාර්ශවය අතර එකගතා ගිවිසුම ලෙස ක්‍රියා කරන අතර එහි සදහන් පරිදි පද්ධතිය සංවර්ධනය කිරීමට සේවායෝජකයා බැදී සිටියි.
විශේෂෙන්ම සමස්ත නිම කල තොරතුරු පද්ධතියේ ක්‍රියාකාරීත්වය පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලපාන අවශ්‍යතා මතම රදා පවතින අතර එම අවශ්‍යතා අදාළ නිම කල තොරතුරු පද්ධතියෙන් ඉටු නොවයි නම් එම පද්ධතිය පරිශීලකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. එබැවින් පද්ධති විශ්ලේෂණය තොරතුරු පද්ධතියක් සංවර්ධනයේදී ඉතා වැදගත් අවධියක් වන අතර එය මත සමස්ත නිම කල යුතු පද්ධතියේ පසු සැලසුම් රදා පවතී. මෙම අවශ්‍යතා තොරතුරු පද්ධතියේ අරමුණු, ආයතනික අරමුණු, පරිශීලකයන්ගේ අරමුණු, සංවර්ධන පිරිවැය ආදී කරුණු මත රදා පවතින අතර එම අවශ්‍යතා ඒ අනුව එක තොරතුරු පද්ධතියකින් අනෙකට වෙනස් වෙයි.    
ඒ අනුව මෙම අවධියේදී පද්ධතියේ අවශ්‍යතා පිලිබදව පහත නිගමන වලට එලබිය යුතුය;
  •  සේවාදායකයාගේ අවශ්‍යතා පිලිබදව පැහැදිලිව හදුනා ගැනීම
  • අවශ්‍යතා වල පවතින අස්ථායිතාවන් වැරදි හදුනා ගැනීම
  • හදුනා ගත අවශ්‍යතා සම්පූර්ණ හා නිවැරදි ඒවා බවට තහවුරු කර ගැනීම
  • SRS වාර්තාව පිළියෙළ කිරීම. 

පද්ධති විශ්ලේෂණය ප්‍රධාන අවධි දෙකකින් යුක්ත වෙයි, එනම් අවශ්‍යතා විශ්ලේෂණය (Requirement Analysis ) හා සටහන්කරණයයි (Specification). අවශ්‍යතා විශ්ලේෂණයද යෝජිත පද්ධතිය සදහා අවශ්‍යතා රැස් කිරීම (Requirement Gathering) හා එම රැස් කරගත් අවශ්‍යතා අතුරින් පද්ධතිය සදහා නිසැක වශයෙන්ම අවැසි අවශ්‍යතා විශ්ලේෂණය කිරීම (Analyzing Gathered Requirements) ලෙස එකිනෙකට වෙනස් ක්‍රියාවලි දෙකකින් සමන්විත වෙයි. පද්ධති විශ්ලේෂකයන් (System Analysts/ Architect) මෙම ක්‍රියාවලීන් සදහා ඍජුවම සම්බන්ධ වෙයි.


අවශ්‍යතා රැස් කිරීම (Requirement Gathering)

පද්ධති විශ්ලේෂකයන් කිසියම් වූ තොරතුරු පද්ධතියක් සදහා තොරතුරු රැස් කිරීමේදී විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරනු ලබයි. එම ක්‍රියා මාර්ග කිහිපයක් පහත දක්වා ඇත.
  • පවතින පද්ධතියක ක්‍රියාකාරීත්වය නිරීක්ෂනය කිරීම මගින් නව යෝජිත පද්ධතිය සදහා තොරතුරු රැස් කිරීම.
  • පවතින් ක්‍රමවේද අධ්‍යන කිරීම තුලින් නව යෝජිත පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබද තොරතුරු රැස් කිරීම.
  • සේවාදායකයා හෝ හදුනාගත් යෝජිත පද්ධතියේ පරිශීලකයන් සමග සම්මුක සාකච්චා පැවැත්වීම.
  • ප්‍රශ්නාවලි සකස් කොට සුදුස්සන්ට ඉදිරිපත් කිරීම
  • යෝජනා වී ඇත්තේ පවතින පද්ධතියක් සංවර්ධනය කිරීම නම් පවතින් පද්ධතියේ වූ ආදාන, ප්‍රතිදාන, ක්‍රියාකාරීත්වය හා එහි පවතින දුර්වලතා හදුනා ගැනීම වැනි ක්‍රම අනුගමය කල හැකිය. 

අවශ්‍යතා විශ්ලේෂණය කිරීම (Analyzing Gathered Requirements)

මෙහිදී රැස් කරගත් අවශ්‍යතා යෝජිත පද්ධතියේ අරමුණු සමග ගැලපීම සදහා පුළුල්ව හා ගැබුරු ලෙස විශ්ලේෂණය කරනු ලබයි. සේවාදායකයා විසින් ඉදිරිපත් කල යෝජිත පද්ධතියේ ඇති අවශ්‍යතා වල පවතින දෝෂ, අපැහැදිලි තැන් හා අස්ථාවර ස්වභාවයන් මුලිනුපුටා දමමින් පැහැදිලි, සම්පූර්ණ, ස්ථාවර අවශ්‍යතා ගොනු කර ගැනීමට මෙහිදී අවධානය යොමු කරනු ලබයි. අවශ්‍යතා වල අපැහැදිලි ස්වභාවයන් හා අස්ථාවර බව ඒවා විස්තර කිරීමේදී සම්පූර්ණ ලෙස හා මැනිය හැකි ලෙස ඉදිරිපත් නොකරන නිසා ඇති වෙයි. උදාහරනයක් ලෙස "යෝජිත පද්ධතිය විශ්වාසනීය එකක් විය යුතුය" යන්න දැක්විය හැකිය. මෙහි වලංගුතාවය මැනීම ඉතා අසීරු අතර එය ඉදිරිපත් කර ඇති ආකාරයද විවිධ වූ බාහිර හෝ පුද්ගල සාධක මත රදා පැවතිය හැකිය. අවශ්‍යතා වල අසම්පූර්ණ බව ඒවා මගහැරීම නිසා හෝ විස්තර කිරීමට අතපසු වීම නිසා සිදු විය හැකිය.   

අවශ්‍යතා සටහන්කරණය ( Requirements Specification)

මෙහි ප්‍රධාන අරමුණ වනුයේ හදුනා ගත් අවශ්‍යතා ක්‍රමානුකුලව සංවිධානය කර ගැනීමත් ඒවා සටහන් කරමින් SRS වාර්තාව සකස් කිරීමත්ය. එම SRS වාර්තාවේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලපාන අවශ්‍යතා (Functional requirements), පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලනොපාන අවශ්‍යතා ( Non-functional requirements ) හා සීමාවන් (Constraints) ඇතුලත් වෙයි. මෙහිදී පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා ඍජු බලපෑමක් දක්වන අවශ්‍යතා ( Functional Requirements) සටහන් කිරීමේදී එම ක්‍රියාවන් සදහා ආදාන, ප්‍රතිදාන, ආදාන මගින් ප්‍රතිදාන ලබා ගැනීම දක්වා වූ ක්‍රියා පිළිවෙත අඩංගු කරමින් සටහන් කරයි. උදාහරණයක් ලෙස පාසල් පුස්තකාල තොරතුරු පද්ධතියක පොතක් සෙවීම යන ක්‍රියාව සැලකුවහොත් එය පහත පරිදි සටහන් කල හැකිය.
  • ආදාන: කතෘගේ නම
  • ප්‍රතිදානය: කතෘගේ පොත් පිළිබද විස්තර ( පොත් නාමය, ප්‍රකාශක, ISBN අංකය )
  • ක්‍රියාව: දෙන ලද කතෘ නාමයට අනුව ගැලපෙන පොත් සෙවීම
පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලනොපාන අවශ්‍යතා ( Non-functional requirements ) ලෙස සුරක්ෂිතතාව, විශ්වාසනීයත්වය, නඩත්තු කල හැකි බව, පරිශීලක පහසුව, උපයෝජ්‍යතාව, පරෙස්සම් සහිත බව වැනි පද්ධතියත් එහි ක්‍රියාකාරීත්වයත් හා සබැදුන ගුණාංග ලෙස හදුනා ගත හැකිය. පද්ධතියේ සීමාවන් (constraints) ආයතනික වශෙන්, පද්ධතිය භාවිතා කිරීමේ ආකාරය වශයෙන් හෝ පද්ධතියේ අඩංගු සන්ධාරය මත රදා පවතී.
දැන් අපි මෙසේ සාකච්චා කල පද්ධති විශ්ලේෂණය තව දුරටත් වටහා ගැනීමට පොඩි ගැටළුවක් විසදමු. මෙම ගැටලුව පාසල් පුස්තකාලය සදහා යෝජිත තොරතුරු පද්ධතිය ගැනයි. එය පහත විස්තර කර ඇත. දැන් ඔබ ගැටලුව කියවා හොදින් එය තේරුම්ගන්න.
සිසුන් හට පාසල් පුස්තකාලය පරිශීලනය කිරීමේ පහසුකම් සැලසීමේදී ඒ සදහා ලියපදිංචි වීම, පොත් බැහැර ගෙන යාම, බැහැර දෙන පොත් නැවත භාර ගැනීම හා නියමිත් දිනට පසුව බැහැර දෙන පොත් භාර දීමේදී දඩ ගැසීම ආදී පහසුකම් සැපයිය යුතුය. ශිෂයෙකු පුස්තකාලයේ ලියා පදිංචි වීමේදී, හදුනා ගැනීමේ අංකයක් සහිත ලියාපදිංචි කාර්ඩ් පතක් නිකුත් කරන අතර ශිෂයන් විසින් පොත් බැහැර ගෙන යාමේදී මෙම කාර්ඩ් පත පුස්තකාලය වෙත ඉදිරිපත් කල යුතුය. ශිෂ්‍යයන්ගේ සියලු විස්තර පාසල් තොරතුරු පද්ධතියේ අඩංගු කර ඇත. කිසියම් ශිෂ්‍යයෙකු පුස්තකාලය හා ලියාපදිංචි වීමට ඉල්ලුම් කල විට මෙම පාසල් තොරතුරු පද්ධතියෙන් එම ශිෂ්‍යා පිළිබද තොරතුරු විමසා බලා වලංගුතාවය සනාථ කර ගනු ලබයි. ශිෂයෙකු සදහා වරකට උපරිම පොත් තුනක් බැහැර ගෙනයා හැකි අතර එසේ කල හැක්කේ  එම ශිෂ්‍යයා ඒ වන විට දඩ වලට යටත් නොවේ නම් හා නියමිත පොත් පිටපත් අවම වශයෙන් එකක්වත් පුස්තකාලයේ කියවීමට ඉතිරිව ඇති නම් පමණි. දඩ ගණනය සිදු කරනු ලබන්නේ පොත් නැවත භාර දෙන විටදීය. එහිදී දිනකට හෝ කොටසකට පොතක් සදහා රුපියලක් දඩ වශයෙන් නියම කරනු ලැබේ. මෙම ගාස්තුව පුස්තකාලයාධිපති විසින් සෑම වසරක් පාසා සංශෝධනය කරනු ලබයි. සෑම වසරක් අවසානයේදීම පොත් නැවත භාරදිය යුතු ශිෂ්‍යන්ට හා දඩ ගෙවිය යුතු ශිෂ්‍යන්ට නිවේදනයක් නිකුත් කල යුතුය.
දැන් ඔබ ක්‍රියාකාරකමක් ලෙස මෙම යෝජිත තොරතුරු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලපාන අවශ්‍යතා (Functional requirements), පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලනොපාන අවශ්‍යතා ( Non-functional requirements ) හා සීමාවන් (Constraints) හදුනාගෙන වගු ගත කරන්න.
මා හදුනා ගත් මෙම යෝජිත තොරතුරු පද්ධතියේ පවතින එහි ක්‍රියාකාරීත්වය සදහා බලපාන අවශ්‍යතා, පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලනොපාන අවශ්‍යතා හා සීමාවන් පහත දක්වා ඇත. එය නිවැරදි දැයි පරීක්ෂා කර ඔබේ පිළිතුර හා සංසන්දනය කර බලන්න.


පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලපාන අවශ්‍යතා


 ලියාපදිංචි වීම
  • ආදානය: ශිෂ්‍යාගේ ඇතුලත් වීමේ අංකය
  • ප්‍රතිදානය: හදුනා ගැනීමේ අංකය
  • ක්‍රියාව: ශිෂ්‍යාගේ ජීව දත්ත හා ඔහුගේ වලංගුතාවය පාසල් තොරතුරු පද්ධතියෙන් සොයා බලා ලියාපදිංචිය තහවුරු කිරීම.
පොත් බැහැර ගෙන යාම
  • ආදානය: පොත් වල කාණ්ඩ අංකය
  • ප්‍රතිදානය: නැවත භාර දිය යුතු දිනය
  • ක්‍රියාව: ශිෂ්‍යයා බැහැර ගෙන ඇති පොත් සංඛ්‍යාව 3 ට වඩා අඩු බවද, ඔහු දඩ සදහා යටත් නොවන බවද, ඉල්ලා ඇති පොත් වල කාණ්ඩ අංක අනුව පරීක්ෂා කර එම පොත් පිටපත් අවම වශයෙන් 1 වත් පුස්තකාලයේ ඉතිරි බව සනාත කර ගැනීමෙන් අනතුරුව එම පොත් ශිෂ්‍යයාට බැහැර ගෙන යාමට නිකුත් කිරීම. 
බැහැර දෙන පොත් නැවත භාර ගැනීම
  • ආදානය: පොත් වල කාණ්ඩ අංකය
  • ප්‍රතිදානය: තොරතුරු පද්ධතිය භාරදුන් පොත් පිළිබද විස්තර වලින් යාවත් කාලීන කිරීම
  • ක්‍රියාව: නැවත භාර දෙන දිනය පරීක්ෂා කර භාරදුන් පොත් පිළිබද විස්තර වලින් තොරතුරු පද්ධතිය යාවත් කාලීන කිරීම
දඩ ගැසීම
  • ආදානය: පොත් වල කාණ්ඩ අංකය
  • ප්‍රතිදානය: තොරතුරු පද්ධතිය භාරදුන් පොත් පිළිබද විස්තර වලින් යාවත් කාලීන කිරීම හා දඩ මුදල් ගෙවූ බවට තොරතුරු පද්ධතිය යාවත් කාලීන කිරීම
  • ක්‍රියාව: පොත් වල නැවත භාර දෙන දිනය පරීක්ෂා කර නියමිත දඩ මුදල් ප්‍රමාණය ගණනය කිරීම
ගාස්තු සංශෝධනය
  • ආදානය: සංශෝධිත නව ගාස්තු
  • ප්‍රතිදානය: තොරතුරු පද්ධතිය සංශෝධිත නව ගාස්තු පිළිබද විස්තර වලින් තොරතුරු පද්ධතිය යාවත් කාලීන කිරීම
  • ක්‍රියාව: තොරතුරු පද්ධතිය සංශෝධිත නව ගාස්තු පිළිබද විස්තර වලින් තොරතුරු පද්ධතිය යාවත් කාලීන කිරීම
නිවේදන නිකුත් කිරීම
  • ආදානය: විද්‍යුත් තැපැල් ලිපිනය
  • ප්‍රතිදානය: පණිවිඩ යැවු බවට තොරතුරු පද්ධතිය යාවත් කාලීන කිරීම
  • ක්‍රියාව: වසර අවසානයේ පොත් නැවත භාරදිය යුතු ශිෂ්‍යන් හා දඩ ගෙවිය යුතු ශිෂ්‍යන් තොරතුරු පද්ධතියෙන් හදුනා ගෙන ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනයට නිවේදන නිකුත් කිරීම
පොත් පිළිබද විස්තර සෙවීම·  
  • ආදානය: කතෘගේ නම
  • ප්‍රතිදානය: කතෘගේ පොත් පිළිබද විස්තර ( ග්‍රන්ථ නාමය, ප්‍රකාශක, ISBN අංකය )
  • ක්‍රියාව: දෙන ලද කතෘ නාමයට අනුව ගැලපෙන පොත් සෙවීම
පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහා බලනොපාන අවශ්‍යතා / ගුණාංග
  • දත්ත පහසුවෙන් යාවත්කාලීන කිරීමේ හැකියාව
  • දත්ත සදහා ආරක්ෂාව
  • උපයෝජ්‍යතාව
  • නඩත්තු කිරීමේ පහසුව
  • පද්ධතියේ ප්‍රසාරණය කිරීමේ හැකියාව
සීමා
  • ශිෂයෙකු සදහා වරකට උපරිම පොත් තුනක් බැහැර ගෙනයා හැකිය.
  • පොත් බැහැර ගෙන යාමට ශිෂ්‍යයා ඒ වන විට දඩ වලට යටත් නොවේ නම් හා නියමිත පොත් පිටපත් අවම වශයෙන් එකක්වත් පුස්තකාලයේ කියවීමට ඉතිරිව ඇති නම් පමණි.

පද්ධති සැලසුම් කිරීම (System Design)

ශක්‍යතා අධ්‍යනයෙදීත් පද්ධති විශ්ලේෂනයේත් ප්‍රතිපලයක් ලෙස පද්ධති සැලසුම් කිරීම සිදු කරන බව පද්ධති ප්‍රවර්ධන ජීවන චක්‍රය පාඩමේදී මා විස්තර කළා ඔබට මතක ඇති. තවද එහිදී මෙම පද්ධති සැලසුම් කිරීම ප්‍රධාන ආකාර දෙකකින් දැක්විය හැකි බැවු අනාවරණ කල අතර ඒවා නම් තාර්කික පද්ධති සැලසුම් කිරීම (Logical System Design) හා භොතික පද්ධති සැලසුම් කිරීම (Physical System Design) ලෙස එහිදී හදුන්වා දෙන ලදී. තාර්කික පද්ධති සැලසුම් කිරීමේදී (Logical System Design) පද්ධතියේ දත්ත, තොරතුරු, ක්‍රියාවලීන් හා ගොනු ආදිය තාර්කික වශයෙන් සම්බන්ධ වන ආකාරය නිරූපණය කිරීමට පද්ධති ගැලීම් රූපසටහන් (System Flow Diagram), දත්ත ප්‍රවාහ රූපසටහන් (Data Flow Diagram) වැනි ක්‍රමෝපායන් භාවිතයට ගැනේ. ඒ පිලිබදව අපි පසුව විස්තරාත්මකව සාකච්චා කරමු. තවද භොතික පද්ධති සැලසුම් කිරීමේදී (Physical System Design) අතුරු මුහුණත් නිර්මාණය, ආදානය, සැකසුම, ප්‍රතිදානය, ක්‍රමලේඛනය, පරිශීලනය හා ආරක්ෂාව පිලිබදව අවධානය යොමු කොට එය සම්පූර්ණ කරනු ලබයි. මීට අමතරව මෙම තාර්කික හා භොතික පද්ධති වලට අදාළ තොරතුරු ඉතා විධිමත් ලෙස ලේඛනගත කිරීමද පද්ධති සැලසුම් ක්‍රියාවලියේදී සිදු කෙරේ. මෙම පාඩමේ අරමුණ වනුයේද මම පද්ධති සැලසුම් ක්‍රියාවලිය පිලිබදව ඔබට විධිමත් අවබෝධයක් ලබා දීමයි.
හොදයි, දැන් අපි තවදුරටත් කරුණු සාකච්චා කිරීමට මත්තෙන් අපිට හුරු පුරුදු සමන් මහතාගේ නිවස ගැන වූ උදාහරණය දෙසට හැරෙමු. 


සමන් මහතාගේ නිවසේ සැලසුම


කරුණු සාකච්චා කිරීමෙන් අනතුරුව නිමල් මහතා සමන් මහතාගේ අවශ්‍යතාවයට අනුව නිවසේ සැලසුම නිර්මාණය කළේය. අනතුරුව ඔහු එය සමන් මනතාගේ අනුමැතිය සදහා ඉදිරිපත් කළේය. සමන් මහතාගේ නිවසේ සැලසුම පහත රූපසටහන් 9 දක්වා ඇත.
  රූපසටහන් 9


මෙම රූපසටහනට අනුව ගොඩනගනු ලබන නිවසේ දල සැකැස්ම හා එහි නිමාව පිලිබදව යම් අදහසක් සමන් මනතාට ඉතා පහසුවෙන් ලබා ගත හැකිය. එසේම එය පරීක්ෂා කර බැලීමෙන් තම අවශ්‍යතා එහි ඇතුලත් කර ඇද්ද යන්න විමසා බැලිය හැකිය. සමන් මහතාට අවශ්‍ය පරිදි ඔහුගේ නිවසේ ඇති කාමර සංඛ්‍යාව, ඒවා පිහිටා ඇති ආකාරය, වැරන්දාව හා ආලින්දයේ ස්වභාවය, වැසිකිලි නාන කාමර වල පිහිටීම හා මුළුතැන් ගෙය හා එහි සැකැස්ම පිලිබදව අවබෝධයක් ලබා ගත හැකි වෙයි. තවද දොර ජනෙල් වල පිහිටීම හා ඒවායේ ස්වභාවය පිළිබදවද මෙමගින් විස්තර වෙයි.
මෙසේ පැහැදිලි සැලසුමක් ඇති බව සමන් මතාගේ අනාගත අවශ්‍යතා සැලසුම් කරගැනීමටත් මහත් පිටිවහලක් වෙයි. ඒ වගේම නිවසේ එක් එක් කොටසක් අනිත් කොටස හා බද්ධ වී ඇති ආකාරය පිලිබදව මානව අවබෝධ කරගත හැකි වෙයි. එමගින් සාදන නිවස ඇතුලත අලංකරණය කල යුතු ආකාරය හා භාණ්ඩ තැබිය යුතු ආකාරය පිලිබදවද ඉතාමත් පැහැදිලි අවබෝධයක් මෙම සැලසුම බැලීමෙන් සමන් මහතාට ලබා ගත හැකිය.
එසේම මෙවැනි ක්‍රමවත් සැලසුමක් තිබීම නිමල් මහතාටද ඉතා පහසුවකි. නිවස ගොඩනැගීම සදහා එය කාලනුරූපිව කළමනාකරණය කර ගැනීම, මුදල් යෙදවීම පාලනය කර ගැනීම, මිනිස් ශ්‍රමය යෙදවීම කළමනාකරණය කර ගැනීම ආදී ඉතා වැදහත් ඉධිකිරීම හා සම්බන්ධ තීරණ ගැනීමට මෙම සැලසුම ඉතා වැදගත් වෙයි. එබැවින් නිවසක් ඉධි කිරීමේදී නිසි සැලසුමක් පැවතීම සේවාදායකයාට මෙන්ම සේවයෝජකයාටද වැදගත් වෙන බැවු මින් මනාව පැහැදිලි වෙයි.      

හොදයි, දැන් අපි පද්ධති සැලසුම්කරන ක්‍රියාවලිය ගැන සාකච්චා කරමු. පද්ධති සැලසුම් කිරීම තාක්ෂණික නිර්මාණ ක්‍රියාවක් ලෙස හැදින්විය හැකිය. සාර්ථක පද්ධති සැලසුමක් ඉදිරිපත් කිරීමට පද්ධති සැලසුම්කරුට විවිධ නිර්මාණ පිවිසුම් පිළිබදවද, තාක්ෂණික දැනුම පිළිබදවද හොද අවබෝධයක් හා හැකියාවක් තිබිය යුතුය. පද්ධති සැලසුම් කිරීමේදී මුලික වශයෙන් සිදු වනුයේ SRS වාර්තාවේ අඩංගු වූ කරුණු කිසියම් වූ ක්‍රමලේඛන භාෂාවකින් සැකසිය හැකි වන මොඩලයක්/ සැලසුමක් බවට පත් කිරීමයි. එය පහත රූපසටහන් අංක 10 දක්වා ඇති පරිදි තවදුරටත් පැහැදිලි කිරීමට ඉදිරිපත් කල හැකිය.






රූපසටහන 10

එක පියවකින් ඉතා හොද පද්ධති සැලසුමක් ලබා ගත නොහැක. එය පද්ධතියේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙමින්, විවිධ වූ අතීත වර්තමාන හා අනාගත මානයන් ඔස්සේ සිතමින් පුනරවර්තනයක් සිතාව සිදුවන්නකි.

මොකක්ද මේ ප්‍රථමික සැලසුම්කරනය (Preliminary/ High-Level Design) හා සවිස්තරාත්මක සැලසුම්කරනය (Detailed / Low-Level Design)?


දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් ඇසීමට කැමතියි. ඔබට හැගෙන පරිදි කිසියම් වූ පද්ධතියක් සැලසුම් කිරීමට නිශ්චිත ක්‍රියා පිළිවෙතක් තිබේද? කෙටි පිළිතුර නම් නැත යන්නයි. විවිධ ඉංජිනේරුවන් විවිධ ක්‍රම පද්ධති සැලසුම් කිරීමට ඉදිරිපත් කරයි. ඒ අතුරින් එහි අඩංගු සැලසුම් පියවර සංවිධානය කර ගන්න ආකාරය අනුව අපිට පද්ධතියක් සැලසුම් කිරීමේ ප්‍රධාන පිවිසුම් මාර්ග දෙකක් හදුනාගත හැකිය. එනම්, ප්‍රථමික සැලසුම්කරනය (Preliminary/ High-Level Design) හා සවිස්තරාත්මක සැලසුම්කරනය (Detailed / Low-Level Design) යන්නයි.
ප්‍රථමික සැලසුම්කරනයේදී මොඩියුල, ඒවා අතර අන්තර්සම්බධතා, අභ්‍යන්තර අතුරුමුහුණත් හා ආදාන ප්‍රතිදාන සහිත බාහිර අතුරුමුහුණත් ඇතුලත් ක්‍රමලේඛන සැකිල්ල (Program Structure) හෝ පද්ධති නිර්මිතය (System Architecture) අවසන් ප්‍රතිපලය ලෙස ලැබෙයි. නිවැරදි ප්‍රථමික සලසුම්කරනයකදී පද්ධතියේ අපේක්ෂිත සියලු මොඩියුල නිත්‍ය වූ ධුරාවලියකට ඇතුලත්ව ඉදිරිපත් කරයි. මෙහිදී නිර්මිතයේ කුඩා ඒකකය මොඩියුලය වන අතර එය බාහිර පිවිසුම් (External Access) සහිතව හෝ රහිතව කිසියම් වූ ක්‍රියාවන් එකකින් හෝ කිහිපයකින් සැදුම්ලද තනි ඒකකයක් ලෙස දැක්වෙයි. සවිස්තරාත්මක සැලසුම්කරනයේදී අවසන් ප්‍රතිපල ලෙස ඍජුවම මොඩියුල හා සම්බන්ධ ඇල්ගොරිතම හෝ දත්ත සැකසුම් (Data Structures) ඉදිරිපත් කරනු ලැබෙයි. පද්ධතියක් සැලසුම් කිරීමේදී මෙම ප්‍රථමික හා සවිස්තරාත්මක සැලසුම්කරනය යන දෙකම සිදු කල යුතුය.


පද්ධති සැලසුම්කරණයේ පියවර

කිසියම් වූ තොරතුරු පද්ධතියක් සැලසුම් කිරීමේදී පහත දැක්වෙන සාධක වෙත අවධානය යොමු කිරීම වැදගත් වෙයි.

  • ගැටළුව හදුනාගැනීම - යෝජිත ගැටළුව පිලිබදව විවිධ වූ මානයන්ගෙන් විමසා බලා නිවැරදිව සැලසුම් අවශ්‍යතා හදුනා ගත යුතුය.
  • විසදුම් එකක් හෝ කිහිපයක් ඉදිරිපත් කිරීම - පවතින සම්පත් වල ස්වභාවය හා පද්ධති සැලසුම්කරුවන්ගේ පළපුරුද්ද අනුව සුදුසු එක යෝජිත සැලසුමක් අනෙකුත් සැලසුම් අතරින් තෝරා ගැනීම.
  • විසදුම කෙටියෙන් විග්‍රහ කිරීම -  සුදුසු ග්‍රැෆික හෝ විධිමත් සංඛේත බාවිත කරමින් තෝරා ගත් සැලසුම විග්‍රහ කල යුතුය.

පද්ධති සැලසුම් කිරීමේ උපායමාර්ග (Design Strategies)

ඉහත සදහන් කල පද්ධති සැලසුම් කිරීමේ පියවර අනුගමනය කිරීමෙන් කිසියම් තොරතුරු පද්ධතියක් සැලසුම් කිරීමේ උපායමාර්ග දෙකක් පවතයි. මෙය පද්ධතිය පිලිබදව ඉහල සිට පහලට සැලසුම් කිරීම (Top-Down Design Strategy) හා පද්ධතිය පිලිබදව පහල සිට ඉහලට සැලසුම් කිරීම (Bottom-Up Stategy) ලෙස හදුන්වයි. ටොප් ඩවුන් ක්‍රමයේදී පද්ධති මොඩියුල ධුරාවලියේ ඉහලින්ම වූ උපාංග වලින් ආරම්භව සැලසුම් ධුරාවලියේ පහලින් වූ උපාංග දක්වා පද්ධති සැලසුම් කිරීම සිදු කරයි. එසේම බොටොම් අප් ක්‍රමයේදී පද්ධතියේ වූ මුලික ඒකක හදුනා ගනිමින් එම එක එකක් ඒකක සමස්ත පද්ධතිය ගොඩ නැගීමට අන්තර්සම්බන්ධතා දක්වන ආකාරය අවබෝධ කර ගනිමින් පද්ධතිය ඉහලට සැලසුම් කරයි. මෙම පද්ධති සැලසුම් උපායමාර්ග තව දුරටත් පැහැදිලි කර ගැනීම සදහා එම සැලසුම් ආකාර පහත රූපසටහන් 11 දක්වා ඇත.

රූපසටහන 11

ක්‍රියා නැබුරු (function oriented) සංවර්ධන පිළිවෙතක් අනුගමනය කරනු ලබන තොරතුරු පද්ධතියක ටොප් ඩවුන් ක්‍රමය භාවිතයෙන් පද්ධතිය සැලසුම් කල හැකි අතර ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය හා නිර්මාණ ක්‍රමවේදය (SSADM) ක්‍රියා නැබුරු සංවර්ධන පිළිවෙතක් අනුගමනය කරන බැවින් ටොප් ඩවුන් ක්‍රමය පද්ධතිය සැලසුම් කිරීමට උචිත වෙයි. වස්තු නැබුරු ක්‍රමවේදයේදී තොරතුරු පද්ධතියක ගැලුවේ පවතින වස්තුන් (objects ) හා ඒවායේ අන්තර්ක්‍රියා (relationship) හදුනාගනිමින් පද්ධති සංවර්ධනය කරන නිසා බොටොම් අප් ක්‍රමය උචිත වෙයි.
හොද පද්ධති සැලසුමක් යනු කුමක්ද?
සාරාංශයක් ලෙස හොද පද්ධති සැලසුමක් යනු සියලු අපේක්ෂිත අවශ්‍යතා සපුරන, පවතින පරිගණක සීමාවන් (Computer Memory, Processor) කාර්යක්ෂම ලෙස භාවිතා කරන, සංවර්ධන ශ්‍රමය හා මුදල් කාර්යක්ෂම ලෙස උපයෝගී වන පහසුවෙන් කියවීමට, තේරුම්ගැනීමට, පරීක්ෂා කිරීමට, ස්ථාපනය කිරීම, වෙනස් කිරීම හා නඩත්තු කිරීම හැකි පද්ධති සැලසුමකි. 


මොඩියුල 


ඕනෑම නිවැරදි පද්ධති සැලසුමක මුලික ඒකකය මොඩියුලය ලෙස හැදින්විය හැකිය. මුල් ගැටළුව වියෝජනය කිරීමෙන් මොඩියුල හදුනා ගත හැකි අතර මෙසේ හදුනා ගන්නා මොඩියුල හැකි තරම් එකිනෙකින් ස්වාධීන විය යුතුය. එබැවින් ඒවා පහසුවෙන් තනි තනිව තේරුම් ගත හැකි වන අතර එනයින් ඒවායේ අභ්‍යන්තර සංකීර්ණතාව අවම වී ඇත. පද්ධතියක වූ මොඩියුල වල ඇති මෙම ගුණය Functional Independance ලෙස හදුන්වයි. ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය හා නිර්මාණ ක්‍රමවේදය (SSADM) අනුගමන කරමින් පද්ධතියක් සැලසුම් කිරීමේදී මෙම මොඩියුල හදුනා ගැනීම මුලික අවශ්‍යතාවක් වෙයි. මෙම පාඩම් මාලාවේ මීලග කොටසින්  SSADM  ක්‍රමයත් එමගින් පද්ධති සැලසුම් කරන ආකාරය ගැනත් විස්තර ඉදිරිපත් කරනු ලැබෙයි.  

Related Posts

Post a Comment